නවතම පුවත්

සෞදි අරාබියෙන් ශ්‍රි ලාංකික වෘත්තීය ශ්‍රමිකයින්ට ඉහළ ඉල්ලුමක්...

සෞදි අරාබියා විෂන් 2030 (Saudi Arabia’s Vision 2030) වැඩසටහනට පූර්වගාමීව සිදුකරන රැකියා ප්‍රවර්ධන වැඩසටහනට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විශේෂ දූත පිරිසක් සහභාගි වූ අතර, එහිදී ශ්‍රි ලාංකික වෘත්තිකයින්ට වැඩි රැකියා අවස්ථා ලබාගැනීම සඳහා සෞදි අරාබි ආයතනවල නියෝජිතයින් සමග සාකච්ඡාවල නිරතවිය.

එම සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය.“ශ්‍රි ලාංකිකයින්ගේ විදේශ රැකියා අවශ්‍යතාවයන් වැඩි වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ දූත කණ්ඩායමක් මේ දිනවල සෞදි අරාබියේ සංචාරයක නිරත වෙනවා. එහි පළමු වැඩසටහන මැයි මස 11 දින ආරම්භ වුණා. අපි මෙම සංචාරයට පෙර සෞදි අරාබියේ වෘත්තීය රැකියා කිරීමට කැමැත්තක් දක්වන ශ්‍රි ලාංකිකයින් පිළිබඳව සමීක්ෂණයක් සිදුකළා. ඒ අනුව අපිට ඉංජිනේරුවරුන්, ප්‍රමාණ සමීක්ෂණ නිළධාරීන්, ගෘහ නිර්මාණ ශිල්පීන් වැනි වෘත්තීයවේදීන් 6000ක පමණ ප්‍රමාණයක් හඳුනාගැනීමට හැකිවුණා.

අපි මේ පිලිබඳව රියාද්හිදී පැවති සාකච්ඡාවලදී සඳහන් කළා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් සමග පුද්ගලික විදේශ රැකියා නියෝජිතායතන 15ක සාමාජිකයින් සහභාගි වුණා. සෞදි ආරාබියේ ආයතන විශාල ප්‍රමාණයක් අපි සමග සාකච්ඡා කළා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමිකයින් පිළිබඳව. ලෝකයේ දැනට පවතින රැකියා ඉල්ලුම අනුව අපිට විශාල ප්‍රතිචාර ලැබුණා. ඒ අනුව අපිට අවබෝධයක් ලබාගත හැකිවුණා තවදුරටත් දියුණු කළ යුතු රැකියා ක්ෂේත්‍ර පිළිබදව. මේක හොඳ ආරම්භයක් ශ්‍රි ලංකාවේ විදේශ රැකියා ක්ෂේත්‍රයට.

විදේශ රැකියා අවස්ථා අපි ළගට පැමිණෙන තෙක් ඉන්නේ නැතුව අපි ආයතනවල සංචාරය කරලා, අදාළ රැකියා ආයතන සමග සාකච්ඡා රැකියා අවස්ථා ලබාගැනීමේ වැඩසටහනක් මේ සමගම ආරම්භ කළා. ඊට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. තාක්ෂණික ක්ෂේත්‍රයේ වඩා දැනුම ප්‍රගුණ කල ශ්‍රමිකයින් කණ්ඩායමක් අපිට අවශ්‍යයි. ඔවුන්ගේ දැනුම වැඩිදියුණු කිරිමට අපි වැඩි වශයෙන් අවධානය යොමුකළ යුතුයි.

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ගල්ෆ් කලාපයේ විශේෂ ඉල්ලුමක් තියෙනවා. ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ඉතාමත් සුභවාදී ආකල්ප ඔවුන් සතුව තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් මටත් පුද්ගලික අත්දැකීම් තිබෙනවා. පහුගිය වසරේ අපිට ලද ආදායම ඩොලර් බිලියන 6.5 ක්. අපි මේ වසරේ එම ඉලක්කය ඩොලර් බිලියන 7 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා සියළු දෙනාගේම සහයෝගය සහිතව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න මම බලාපොරොත්තු වෙනවා.”

සෞදි අරාබියා විෂන් 2030 යනු ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් වැඩි දියුණු කරන ලද, විචිත්‍රවත් සමාජයක්, සමෘද්ධිමත් ආර්ථිකයක් හා අභිලාෂගාමී ජාතියක් තුළින් සෞදි අරාබියේ ඉහළ ආර්ථික සංවර්ධනය උදෙසා වර්ෂ 2030 දී ළගාවන ඉලක්කයයි. එම ඉලක්කය වෙනුවෙන් රටතුළ සිදුකෙරෙන විශාල සංවර්ධනයේදී රැකියා අවස්ථා දහස් ගණනක් බිහිවන අතර, එම රැකියා අවස්ථා විදේශ ශ්‍රමිකයින් වෙතද ලබාදීමට සෞදි රජය විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉදිකිරීම්, හෝටල් හා සංචාරක, සෞඛ්‍ය සේවා සහ මූල්‍ය හා තාක්ෂණික යන ප්‍රධාන ක්ෂේත්‍රවල වෘත්තිය රැකියා අවස්ථා රැසක් ශ්‍රි ලංකාවට ලබාගැනීමට මෙම නියෝජිත පිරිස එහිදි කටයුතු කිරීමට නියමිතය.

SI